Tuesday, December 15, 2015

කොන්ක්‍රීට්...

අනුපාතෙට සිමෙන්ති, වැලි එකතුකරලා
අච්චුවට දාලා හදපු
කොන්ක්‍රීට් කණු අතරේ
ඉස්සර දවසක
වචනයක්වත් නැතුව
කුළුගෙඩියකින් ගහලා
කුඩුකරලා දාපු,
මිටියකින් ගල්කටුවට
යාන්තමට තට්ටුකරලා
හැඩකරලා
සියුම්වට දාර තියලා
මවපු කැටයම
අඳුරගන්න පුලුවන්ද  මන්දා....

Tuesday, September 1, 2015

හිමි - අහිමි ප්‍රේමය

පෙම් කලෙමි නුඹට
ඇය සිටින බව නොදැන
පෙම් කලෙමි නුඹට
නුඹ ඇගේ බව නොදැන
පෙම් කලෙමි නුඹට
නුඹ අහිමි බව නොදැන

පෙම් කරමි නුඹට
ඇය සිටින බව දැන
පෙම් කරමි නුඹට
නුඹ ඇගේ බව දැන
පෙම් කරමි නුඹට
නුඹ අහිමි බව දැන


Thursday, August 27, 2015

අවැසි නම් මට
කුලය කම් නැත
ඇයව රජ කුමරියක කරනට
නුහුරු රන්දම් පළඳවා
මල්දාම හුරු ඇ'ගෙලට
අවැසියි ජීවිතය සොයාගන්න
රජෙකු නොව මිනිසෙකු විලස
කිරුළු පළඳිනු නොහැක මා හට 
ඔබේ පුත් වූ පමණින්ම..
පිය රජුනි,
අවසරයි මට
නික්ම යන්නට මන්දිරෙන්
ඇගේ හිමි ලෙසට...

Tuesday, June 2, 2015

ඇය

ඇය බිළිඳියක්
කිරි සිනා නගන 
ඇය ළදැරියක්
වැටි වැටී පියවර නගන
ඇය තරුණියක්
කෙළිදෙලෙන් කල් ගෙවන
ඇය කතක්
ජීවිතේ සොයායන

ඇය දියණියක්
ජීවිතේ සතුටදෙන
ඇය මිතුරියක්
ජීවිතේ සවියදෙන
ඇය මවක්
ජීවිතේ ලබාදෙන

සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය 
නුඹට අකමැති කිවූ නිසාවෙන
සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය
ඇඳ පැළඳ උන් විලාසෙට
සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය
නුඹේ පිරිමිකම පෙන්නන්න
සිතුනේ කොහොමද කෙළෙසන්න ඇය
ඇය ගැහැනියක් වූ බැවින

යම් දිනෙක නුඹ 
පියෙකු වුවොත් දියණියකට
දැනේවිද නුඹට 
ඇගේ ජීවිතේ වටිනකම....





Sunday, May 10, 2015

ආරාධනා...

දැන්මම කියලා තියන්නම්
එදාට වෙලාවක් නැතිවෙයි
කැරම් බෝඩ් එකයි
කාඩ් කුට්ටමයි ලෑස්තියි
හොඳට ඉඟුරු දාපු තේකයි
චොකලට් බිස්කටුයි
ගෝල්ඩ් මාරියි;
මං ටිකිරි මාරි වලට අකමැතියි

සුදු නැතුවට කමක් නෑ
ඔය හැමදාම අඳින
පාට ගියපු ටී ෂර්ට් එකයි
ඩෙනිමයි හොඳටම ඇති
ඇවිත් යන්න එන්න
මේ මාසේ අන්තිමට
මගේ මළගම දාට

Monday, May 4, 2015

ආදරේ කියලා අපි හිතනදේ ඇත්තටම ආදරේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.  ඒනිසාම ඒ ආදරේමද කියල දැන ගන්නකන් අපි ගොඩක් වෙලාවට අපේ හැගීම් හංගගෙන ඉන්නවා. තවත් විටක අතීත අත්දැකීමක් නිසා හිතේ තියනදේ කියන්නැතුව ඉන්නවා. තවත් වෙලාවක ඒ ඇත්තටම ආදරේ වුනත් වෙන කෙනෙක්ගෙ උරුමය නිසා හිත හංගගෙන ඉන්නවා. ඒ හැම අවස්තාවකම හේතුසහගතයි.

ඒ වගේම අපි නිකමටවත් නොහිතන දෙයක් ආදරේ වෙන්නත් පුළුවන්. හදිස්සියේම ඇවිත් හදිස්සියේම යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිම අවිනිශ්චිතයි. ඒනිසා ගෙවෙන හැම මොහොතක්ම ආදරෙන් ගතකරන්න. ජීවිතේ මොනදේ දුන්නත් ජීවිතේට ආදරේ දෙන්න.

Saturday, April 18, 2015

අපේ කතාව

සේයාරූ: පණ්ඩුල බස්නායකලොවට හොරා දුටු සිහිනයේ
ඇවිද ගියා අපි වෙරළ දිගේ
බොඳව ගියත් පා සටහන් වැලිතලයේ
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ

ක්ෂිතිජ ඉම තෙක් සාගරේ
ඉගිල ගියා අපි හිතුමතේ
සිඳ දමුවත් ඒ සොඳුරු පියාපත්
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ

අතරමංවී සිහිනයේ
සැරිසැරුවා මම ජීවිතයේ
තනිවුණු හදවත ගැහෙන තුරාවට
පවසන්නම් මුළු ලොවට ඇසෙන්නට
වෙන්කළ දෙහදක කතන්දරේ



ඡායරූපය: පණ්ඩුල බස්නායක

Wednesday, February 18, 2015

වෙරළ කොන හිඳ ඇයට ගැයු ගීතය

වෙරළ කොන හිඳ
ඇයට ගැයු ගීතය
සුළඟ ගෙනයාවි ඈතට
ඇයට නොඇසෙන තරම් ඈතට
කියන්නට බැරි නිසා
සිත නැගුනු සිතිවිලි
සටහනක් තබමි වෙරළේ
හමු වූ දිනක කියන්නට
පෙම් කල බව ඇයට
ඈ කවුද කියන්නටවත්
නොදැනසිටි කාලයක
ඡායරූපය: ලිවිදුල් විතාරණ