Monday, March 19, 2012

ආදරෙයි මම

අහසේ තරු අරන් ඇවිත් මාල ගොතන්න
ඒ තරු වැල දිස්නෙ දිදී ගෙල පලඳින්න
පුංචි කාලෙ මවපු හීනේ හැබෑ නොවුනට
තවමත් ඒ තරු එළියට ආදරෙයි මම

මටත් හඳට එන විදිහක් කියලා දෙනවද
හඳ හාමිගෙ කිරියි පැණියි රසද බලන්න
හඳේ ඉන්න හා පැටියට කතා නොකළට
තවමත් ඒ සඳ මඬළට ආදරෙයි මම

පාට පාට මල් කියනා සිංඳු අහන්න
මල් පෙතිවල පාට ගෑවේ කවුද හොයන්න
පුංචි කාලෙ කළ විදියට මතක් නොවුනට
තවමත් ඒ මල් සුවඳට ආදරෙයි මම

පාඩම් පොත් අතරේ මගෙ කාලේ ගෙවුනට
අහස පොළොව ගැටලන්නට තර්ක කෙරුවට
මටත් හොරා ගෙවිලා ගිය ළමා කාලයේ
තවමත් ඒ සොඳුරුකමට ආදරෙයි මම